නගරබද පරිසරයට වෙලා අවුරුද්ද පුරාම කටුක පරිසර අත්දැකීමක් විඳින ඕනම කෙනෙක් බොහොම කැමතියි තමන්ට නිවාඩුවක් ලැබෙන වෙලාවක සෞම්‍ය වටපිටාවක, තෙත් සහිත පරිසරයක, ගහකොළ අතරේ සැරිසරන්න, පිරිසිදු වතුරකට පැනලා ටිකක් නාගන්න. වතුර සද්දේ අහගෙන ඉන්න. මේ කියන සුන්දරතා විඳින්න ලංකාවේ ඕනතරම් තැන් තියනවා. ඒ අතරින් කන්නෙලිය තවත් සුවිශේෂී තැනක්. සිංහරාජ ලෝක උරුම වනාන්නතරයට යා වෙලා තිබෙන එහිම කොටසක් විදිහට සලකන්න පුළුවන් කන්නෙලිය රක්ෂිත වනාන්තරය පහත රට තෙත් කලාපීය වැසි වනාන්තරයක තිබිය යුතු හැම ලක්ෂණයක්ම හරි අපූරුවට තිබෙන තැනක්. කොළඹ ඉඳන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දෙගම හුවමාරුව හරහා උඩුගම පාරේ ගියොත් කිලෝමීටර් 135ක වගේ දුරක් ගෙවලා කන්නෙලියට යන්න පුළුවන්. ඒ ඇරෙන්න මාතර පැත්තේ ඉඳන් එනවනම් අකුරැස්ස හරහා එන්නත් පුළුවන්. කන්නෙලිය ඉතාම වටිනා සොබා සෞන්දර්යක් හිමි තැනක් නිසා සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගන්න තැනක්. කන්නෙලියේ නවතින්න එනවනම් වනජීවී දෙපාර්තමෙන්තුවට අයත් නිවාඩු නිකේතනය කලින්ම වෙන්කරලා එන්න වෙනවා. ඒ වගේම කෑම බීම මිලට ගන්න තැනක් නැති නිසා ආහාර ද්‍රව්‍ය රැගෙන එනවානම් ඒවා උයලා දෙන්න මේ නිකේතනයේ කාර්ය මණ්ඩලය කටයුතු කරනවා. ඒවාට අයකිරීමක් කරනවා. මේ වනාන්තර පෙදෙසේ දිය ඇලි ගණනාවක් ඇතුලු සොඳුරු වනාන්තරයක සියලුම ලක්ෂණ වලින් සමන්විත වෙන නිසා මාර්ගෝපදේශකයෙක්ගේ උදව්වෙන් පා ගමනින් කන්නෙලිය නරඹන්න ඔබට පුළුවන්. ඒ වගේම ආරක්ෂිත දිය ඇල්ලක් හෝ තටාකයකින් නාන්නත් අවස්ථාව ඔබට ලැබෙනවා. පොලිතින් සහ ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය මේ වනාන්තරය තුලට රැගෙන ඒම සපුරා තහනම්. ගාල්ල ප්‍රදේශයේ සංචාරයකට එනවනම් අනිවාර්යයෙන්ම ඔබ පැමිණිය යුතු තැනක් තමයි කන්නෙලිය කියන්නේ. කන්නෙලිය වගේම නාකියාදෙණිය, දෙදියගල කියන මේ ප්‍රදේශ 2004 වසරේ යුනෙස්කෝ ලෝක උරුම අතරට එක්කරපු වටිනා තැනක් නිසා සංචාරකයන් විදිහට මේව දැකබලාගෙන හිත සතුටු කරගන්නවා වගේම වගකීමෙන් සංචාරයේ යෙදිලා මේවා ආරක්ෂා කරගන්නත් කටයුතු කරන්න ඕන.