paddy-field-srilanka
yodha-ela
paddy-field-srilanka
yodha-ela
previous arrow
next arrow


Warning: Trying to access array offset on value of type bool in /var/www/wptbox/wp-content/themes/infolanka/page-location.php on line 34

Warning: Trying to access array offset on value of type null in /var/www/wptbox/wp-content/themes/infolanka/page-location.php on line 34


 

ලංකාවේ ඉපැරණි වාරි තාක්ෂණය

ලෝකයෙන් වැඩි ප්‍රමාණයක් ආවරණය වී ඇත්තේ ජලයෙන් වුවද, ලොව කාන්තාර පිහිටි රටවලට ජලය අමිල සම්පතකි.  අතීතයේ ජීවත් වූ වැසියන් සිය ජනාවාස නිර්මාණය කරගත්තේද ජල මූලාශ්‍ර හෝ නිම්න ආශ්‍රිතවය. එයට හේතුව වූයේද ජලය මිනිසාට අත්‍යවශ්‍ය සාධකයක් වීම නිසා මෙන්ම වාරි තාක්ෂණයක් නොපැවතීම හේතුවෙන්ය.  කෙසේ නමුත් මධ්‍යකාලීන ලෝකය වන විට වාරි කර්මාන්තය දියුණු මට්ටමකට ලඟාවෙමින් පැවතිණි.

ජී.එන්.පරණවිතාණ මහතා විසින් සකස් කල ශ්‍රී ලංකාවේ පුරාතන වාරි කර්මාන්තය පිළිබඳ වාර්තාව පරිශීලණය කරන්නෙක්ට එය කොතරම් දියුණු මෙන්ම තාක්ෂණය අතින් අපූර්ව අවධියක පැවතියෙහිද යන්න මනාව පැහැදිලිවේ.  ඔහුට අනුව පුරාණ වාරි කර්මාන්තය හා බැඳුණු සාධක කොටස් හයකට අයත් විය.  වැව් ක්‍රමය,  අමුණු ක්‍රමය, උල්පත් ක්‍රමය, සත්ව ක්‍රමය, වනාන්තර ක්‍රමය සහ භූමි ක්‍රමය ඒවා වේ. මේ අතරින් වැව්, අමුණු සහ උල්පත් ආශ්‍රිත සාධක ලංකාවේ පුරාතන වාරි කර්මාන්තය සුපෝෂණය කිරීමට සුවිශාල කාර්යයක් සිදුකරන ලදි.

වැව් නැමති ජලය එක්රැස් කිරීමේ ක්‍රමය හරහා ගංඟා, ඔය හෝ ඇල හරස්කර වේලී බැඳීම මගින් විශාල ප්‍රමාණයේ සහ කුඩා ප්‍රමාණයේ වැව් නිර්මාණය කරනු ලැබීය.  මෙම වැව, ජලය පිරුණු ටැංකියක් ද නොවේ.  වැවක් තැනීමට, ජලය එක්රැස්කර ගැනීමට මෙන්ම ජලය බෙදාහැරිමට වඩාත් සුදුසු බිසො කොටුව, රළපණාව, මොහොල, දියකැට පහණ, ආදිය පුදුම සහගත මෙන්ම තාක්ෂණයේ දියුණුව ලොවට කියා පාන්නකි.  අදටත් ලංකාවේ වාරි කර්මාන්තයට විශාල දායකත්වයක් ලබාදෙන බසවක්කුලම, පරාක්‍රම සමූද්‍රය, කලා වැව, මින්නේරිය වැව වැනි විශාල ප්‍රමාණයේ වැව් මෙන්ම ප්‍රාදේශියව පිහිටි කුඩා වැව් විශාල ප්‍රමාණයක් නම් කල හැකිය.

ජල පෝෂක ප්‍රදේශ වලින් පැමිණෙන ජලය ඉතා පරිස්සමින් සහ ශක්තිමත්ව මිනිස් ශ්‍රමයෙන් සකස් කල වේල්ල මගින් හරස් කිරීම මගින් ජලය එක්රැස් කල අවශ්‍ය අවස්ථාවලදී (රජරට සහ නැගෙනහරි වැනි වැසි ජලය හිඟ එහෙත් කෘෂි කර්මාන්තය විශාල වශයෙන් සිදුකෙරෙන පළාත්වලට නිරන්තරයෙන් ජලය නිකුත් කිරීම සහ එසේ නොමැති පළාත්වලට අවශ්‍ය අවස්ථාවලදී පමණක්) ජලය නිකුත් කිරීම ‘පිටවාන’ හරහා සිදුකරන ලදි.  පිටවාන විවෘත කිරීම සඳහා ‘සොරොව්ව’ නිර්මාණය කර ඇත. මේ අතර සුවිශේෂීම නිර්මාණයක් ලෙස ‘බිසෝකොටුව’ හැඳින්විය හැකිය.  එහි කාර්යභාරය වන්නේ වැව් ජලයේ ඇති පීඩනය අඩු කිරීමය.  එනම් සොරොව්වෙන් ජලය පිටවීමේදී සහ සැඩ රළ වැව් බැම්මේ වැදීමේදී සිදුවිය හැකි හානිය පාලනය කිරීමට වැව තුල නිර්මාණය කර ඇති මේ නිර්මාණය ලංකාවේ වාරි කර්මාන්තයට පමණක් ආවේණික නිර්මාණයකි.  එයට බිසෝකොටුව ලෙස නම් තැබීමට හේතුව ලෙස විද්වතුන් සඳහන් කරන්නේ රජු ඉතා දැඩි තීරණ ගැනීම සිදුකරන අවස්ථාවලදී එම තීරණවල හානිය අවම කිරීමට බිසවගේ ඔවදන් ඉතාම වැදගත් මෙහෙයක් කරන නිසා එවැනිම වූ කාර්යයක් වැවට කරන මෙම නිර්මාණයට බිසෝ කොටුව ලෙස නම් තබා ඇති බවයි.

ක්‍රි.පූ දෙවැනි සියවසේ ඉදිකරන ලද සංගිලිකන්දරාව වැව සහ ක්‍රි.ව පස්වැනි සියවසේ නිර්මාණය කරන ලද නච්චදූව වැව වාරි තාක්ෂණයේ ඉතා ඉහළ භාවිතාවන් සිදුකර ඇති ස්ථාන ලෙස සැලකිය හැකිය.  එච්. පාකර් නැමති විදේශීය තාක්ෂණවේදියා විසින් 1910 සම්පාදනය කරන ලද ඉපැරණි ලංකාවෙ කෘතියේ මෙය මනාව විස්තර කර දී ඇත.2003 දී යූ.බී.‍ඖෂධහාමි විසින් සම්පාදිත ‘වැව’ කෘතියේ ලංකාවේ වැව් ක්‍රමයේ වැව් බැම්ම හා පිටවාන සබැඳි තාක්ෂණික කාරණා ගෙනහැර දක්වා ඇත.  එසේම කුඩා වැව් ගණනාවක් වාරි ඇළක් මගින් එක්කර නිර්මාණය කර ඇති වාරි පද්ධති ලංකාවේ රජරට, නැගෙනහිර සහ දකුණු පළාතේ මාගම්පත්තුවේ විශාල ලෙස දැකිය හැකිය.  ඒ තුලින් වඩාත් වැඩි ජල පෝෂක ප්‍රදේශයක් ආවරණයවීම සිදුවේ.  ඒ නිසා අතීත මුතුන් මිත්තන් වාරි තාක්ෂණය භාවිතයේදී ඉතා දිගු දුරක් සහ පුළුල් වපසරියක් පිළිබඳ අවධානයෙන් කටයුතු කර ඇති බව පැහිදිලි වේ.

ක්‍රි.පූ තුන්වැනි සියවසේදී පමණ ලංකාවේ වාරි කර්මාන්තය ඉතා ඉහළ අවධියකට පැමිණිය බවත් ලොව ප්‍රථම කෘතිම ජලය රැස්කිරීමේ ස්ථාන මෙන්ම පොළව යටින් ජලය ගෙන යා හැකි උමං සංස්කෘතිය ලොවට දායාද කලේ සිංහලයා බව පැහැදිලිය.  සීගිරියේ ගිරි මුදුනේ මාලිගය වෙත වායු පීඩනය, ආර්ද්‍රතාවය සහ ජලයේ ඝනත්වය භාවිතා කරමින් පොළවේ සිට ජලය රැගෙන ගිය ආකාරය නවීන ලෝකයේ විද්‍යාඥයන් පවා මවිත කරන්නකි.

බෞද්ධ දර්ශනය සහ සංස්කෘතිය සමගින් මානව සමාජය සංවර්ධනය වීම ඇරඹීමත් සමග කෘෂිකර්මාන්තය තවත් දියුණුවට පත්විය.  එහෙයින් වාරි කර්මාන්තයේ දියුණුව ඉතා වැදගත් සාධකයක් විය.  වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි වැනි පොදු තේමාවන් යටතේ සෑම ගමකම පාහේ වැවක් දෙකක් බිහිවන්නට අවශ්‍ය පරිපාලනමය පසුබිමද සැකසිනි.

වසභ රජු විසින් නිර්මාණය කල ඇලහැර වාරි ක්‍රමය පුරාණ වාරි කර්මාන්තයේ සුවිශිෂ්ටතම බහුවිධ නිර්මාණයකි. අඹන් ගඟ හරස් කර වේලී බැඳීම, ඇළ කැපීම, වැව් සහ අමුණු නිර්මාණය වැනි බහුවිධ අංගයන්ගෙන් සමන්විත වාරි ක්‍රම නිසා රජරට ගොවිතැන නොනැසී පැවතිනි.  යුරෝපීය ජාතීන් එවැනි ජල ව්‍යාපෘති ගැන සිතන්නට පටන් ගත් දිනට වසර දහස් ගණනකට පෙර සිංහලයා එවැනි නිර්මාණ සිය මාතෘභූමියට දායාද කර තිබිණි.

ඉතා රමණීය පොකුණු වලින් නගර අලංකරණය මෙන්ම ස්නානය කිරීමේ අවස්ථාව ලැබූ අතර අප ජලය පවා කෘෂි කර්මාන්තයට යොදාගත් බවට සාධක ඇත.  ජය ගඟ (යොධ ඇල) වැනි ඉතා සුමට නිර්මාණ තුලින් සැතපුමකට අගල් හයක් පමණ වන බැස්මක් නිර්මානය කිරීම හරහා ජලයෙන් පසට සිදුවිය හැකි හානිය පාලනය කර තිබීම විශ්මය ජනකය.  එවැනි විශ්මිත වාරි කර්මාන්තයක් පැවතීම නිසා සිරිලක ලොව ඕනෑම ජාතියක්, ආක්‍රමණිකයෙක් ඉදිරියේ නොනැසී සිටීමේ රහස බව දැනගත් ආක්‍රමණිකයන් සිදුකලේ ආක්‍රමණ අතරේ වැව් අමුණු විනාශ කර දැමීමය.  ඒ හරහා කෘෂි කර්මාන්තය බිඳ වැටීම මගින් සිංහලයන් අඩපණ කරනු ලැබීය.

වළගම්බා රජ සමයේ පැමිණි බැමිණිතිය මහා සාය නම් දිගු නියඟය පවා කෙළවර කිරීමට හැකිවූයේ ලංකාවේ වාරි කර්මාන්තය නැවත නගා සිටුවීම මගින්ය. කේ. දමින්ද නාමල් කරුණාරත්න මහතාගේ ලක්දිව වාරි තාක්ෂණය කෘතියේ සදහන් පරිදි, ලක් දිවයිනට ආසන්න රාජ්‍යයක් වන කාශ්මීරයේ වංශ කතාව වන ‘රාජතරංගනිය’ ක්‍රි.ව.745දී ජයපිඩ රජුගේ කාලයෙදී ලාංකික වාරි ඉංජිනේවරුන් එම රටට ගෙන ගිය බව සදහන් කරයි.  ක්‍රි.පු. 02 වන සියවසේ සිට 13 වන සියවස දක්වා, ලෝකයේ විශිෂ්ටතම වාරි තාක්ෂණයක් අප රටට තිබුණි.  වැව් තැනීම මුලින් ම ලක්දිව ආරම්භ වු බව ආර්.එල්. බ්‍රෝහියර් මහතා පවසයි.  බ්‍රෝහියර් විසින් කුරුණෑගල විහාරස්ථානයක තිබු වැව් තාක්ෂණය ගැන ලියවී තිබූ පුස්කොළ පොතක් භික්ෂූන් වහන්සේ නමකගෙන්, කියවා නැවත ගෙනවිත් දෙන පොරොන්දුව මත ඉල්ලා, එය රැගෙන එංගලන්තය බලා ගියේය.  මෙම ඉංග්‍රීසි ජාතික බ්‍රෝහියර් වනාහි මිණුම් ඉංජිනේරුවෙකි.  ඔහු ආපසු ලක්දිවයිනට පැමිණියේ නැත.  පුස්කොල පොතෙහි තිබු වැව් තාක්ෂණය ඔවුන් සතු වූයේ එපරිද්දෙනි.

ඉංග්‍රීසීන් අපේ විහාරස්ථාන හා පුස්තකාලවලින් එසේ රැගෙන ගිය පුස්කොළ පොත්වල ප්‍රමාණය 150000 පමණ වේ.  යුරෝපීය ජාතීන් අද ඔවුන්ගේ ඥාණය ලෙස එළිදක්වන්නේ එදා අපෙන් ගෙන ගිය දැණුම් සම්භාරයයි. ඒ නිසාවෙන් හෙළ වාරි තාක්ෂණය පැවතියේ ඉතා ඉහළ තැනක බව පැහැදිලිය.  අද ගං වතුර තත්වයක් අවසන් වී මාස කීපයකින් නියඟයක් ඇතිවිය හැකි තත්වයක් ලංකාවට උදාවී ඇත්තේ එකී වාරි තාක්ෂණය පල්ලම් බැස ඇති නිසාය.  අතීත මුතුන් මිත්තන්ගේ ඥානය සහ හැකියාවන් වත්මන් පරපුර උකහාගෙන පෙර පරිද්දෙන්ම ලංකාවේ වාරි කර්මාන්තය පොහොසත් කල දිනක ලොවට ණය නැති පෞඩ ජාතියක් ලෙස දේශයක් ලෙස නැවත නැගී සිටීමට ලංකාවට අවස්ථාව හිමිවනු ඇත.  එහෙයින් ඉපැරණි වාරි තාක්ෂණයේ රහස් සහ දැනුම සමස්ත ලංකා වාසීන්ම හැදෑරිය යුතුය, ප්‍රගුණ කල යුතුය.  එය ගම් මට්ටමින් ඇරඹීමට කාලය දැන් පැමිණ ඇති බව සහතිකය.