ආහාර යනු රටක ජීවත්වන ජනතාවගේ ප්‍රධානතම අවශ්‍යතාව බව ලෝක ආහාර සංවිධානය සිය මෙහෙවර ප්‍රකාශය තුල පෙන්වාදී ඇත. ලෝකයේ සෑම රටකටම කෘෂිකර්මාන්තයේ නිරතවිය නොහැකිය, මැද පෙරදිග වැනි කාන්තාර භූමිවල, අයිස්ලන්තය වැනි හිම අධික රටවල කෘෂිකර්මාන්තය සිදුකිරීම සිහිනයක් වැනිය. එවැනි ලෝකයක ඉවතලන දඬු කැබැල්ලක් පවා පැලයක් බවට පත්ව ආහාර සපයන්නාවූ ශ්‍රී ලංකාව එක් පැත්තකින් ක්ෂේම භූමියකි. වසර 125000 ට එපිට දී සිංහල ද්වීපයට ගොඩබසින ලද මානවයින් දඩයම් කරමින් මේ හෙළ ද්වීපයම ජනාවාස කරන ලදි. ඔවුන් ගංඟාධාර ආශ්‍රිතව සිය ජනාවාස පිහිටුවාගන්නට හේතුවන්නට ඇත්තේ කෘෂි කර්මාන්තය උදෙසා ඔවුන්ගේ තිබුණු කැමැත්ත විය හැකිය. ක්‍රමයෙන් මෙම මානවයින් කෘෂි කර්මාන්තයට පිවිසෙන්නට ඇත, එයට හිතකර පසක්, පොහොර සහ සතුන් වැනි සාධකද ලංකාව තුල අඩු නැතිව පැවතීම හේතුවෙන් ආදි මානවයින් අවදානම්සහගත දඩයමෙන් කෙමෙන් කෙමෙන් ඈත්ව කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත්, කෘෂි ආහාර මත යැපෙන පරපුරක් බිහිකරන්නට ඇත. ශ්‍රි ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය බත්ය. සහල් වලින් පිළියෙල කරගන්නා බත් හා ව්‍යංජන උසස්ම හා පෝෂ්‍යදායි ආහාරය වේ. මේ හේතුවෙන් ලක් දිවයිනෙහි කෘෂි සංස්කෘතියක් දක්නට ලැබේ. කෘෂි කර්මාන්තයට ඉතාමත් යෝග්‍ය පරිසරයක් මේ හෙළ ද්වීපය තුල ඇත. බුද්ධ බෝගය ලෙසින් හඳුන්වන බතට සැපයෙන සහල් වැවෙන කුඹුරු යාය අතීත හෙළයාගේ ප්‍රධානතම වත්කම වන්නට ඇත. හේන් ගොවි තැන මගින් එළවළු සහ පළතුරු නිෂ්පාදනය හරහා සමබල ආහාර වේලක් දක්වා ලාංකිකයා රැගෙන එන්නේ කෘෂි කර්මාන්තයෙන්ය. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය ලද දිවයිනක් ලෙස සත්ව ඝාතනයෙන් වැළකී අවිහිංසාවාදී ජීවන ක්‍රමයක් තුළ නිර්මාංශ ආහාර වේලකට අවශ්‍ය හැමදෙයක්ම ලංකාව තුල වගාකල හැකිය. ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදිකරන ලද අති විශාල වාරි මාර්ග ක්‍රමයන්, ජලාශ හා එකිනෙකට සම්බන්ධ ඇළ මාර්ග පද්ධති වලින් වඩාත් තහවුරු වන්නේ පෙර කල සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බවයි. මෙම වී ගොවිතැන ආර්ථික ක්‍රියාකාරිත්වයක් පමණක් නොව එය ජීවනෝපාය මාර්ගයක්ද විය. වී වල ප්‍රභේද බොහෝ ප්‍රමාණයක් අතීත මුතුන් මිත්තන් විසින් භාවිතා කොට ඇත.ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් කාලයක් ප්‍රචලිත ශ්‍රී ලංකාව ස්වදේශීය සහල් වර්ග 2000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හඳුන්වා දී ඇත. එනම්, සුවඳැල්, කළුහීනටි, මා වී, පච්චපෙරුමල්, කුරුළු තුඩ, රත් දැල්, මඩතවාලු, හැටදා වී ඉන් කිහිපයක් වේ. එසේම ස්වයංජාත වැනි ඇල් හාල් වර්ග ගොඩ වගාකල හැකිබැවින් ජලය හිඟ නියං කාලවල පවා ස්වදේශිකයන්ට බත අහිමිව නොගිය රහස එය යැයි වටහාගත යුතුව ඇත. අපේ අතීත ශ්‍රී විභූතිය මනාවට මතුකරන අභිමානවත් ස්මාරක වැව්ය. අතීත රජවරුන් විසින් ඉදිකළ විශාල වැව් නිසාම ලෝකයේ අන් කිසිදු ස්ථානයක නොදැකිය හැකි, වාරි කර්මාන්තයක් අප රටතුල දක්නට තිබිනි. කෘෂි කර්මාන්තයේ දියුණුවට රාජ්‍ය අනුග්‍රහය කෙතරම් ද යන වග මෙමගින් මනාව පිළිබිඹු වේ.අතීතයේදී ගම්වැසියන්ගේ ශ්‍රම ධායකත්වයෙන් සෑම ගමකම වැවක් සාදා තිබුනි. එම වැවෙන් ඉවතලන පස් යොදා දාගැබක් සාදන ලදි. වැවයි, දාගැබයි, ගමයි පන්සලයි යන සංකල්පය මේ අයුරින් බිහිවිය. ගොවිතැනෙන් ලැබෙන පළමු කොටස බුදුන්වහන්සේට පුජා කිරීම හෙළ ගොවියා අදටද සිදුකරන චාරිත්‍රයක් වේ. මෙරට සහල් නිශ්පානය ඉතා ඉහල මට්ටමක පැවතිණි. සහලින් සවයංපෝෂිත වු ශ්‍රී ලංකාව පිටරට වලටද සහල් අපනය කල බව සඳහන් වේ. වී වගාවට වැසි ජලය ප්‍රමාණවත් නොවු හෙයින් ශ්‍රී ලාංකිකයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වු වැව නිර්මාණය විය.
ලිඛිත ඉතිහාසය අනුව වී වගාව පිලිබදව පළමු වරට සඳහන් වන්නේ පඩුවස් දෙව් රාජ්‍ය පාලන සමයේදිය. නොයකුත් යුධ හැටුම් හේතුවෙන් පරිහානියට පත් වී වගාව නැවත දියුණු වනුයේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමය තුලදීය. විශාල වැව් 163ක් ද, කුඩා වැව් 2376ක්ද, ඇළවල් 3910ක් සහ වේලි 165ක් මේ සමයෙහි ඉදිකර ඇති බව චූල වංශයේ සඳහන් වේ. මහ පොළොවට වැටෙන එක ජල බිඳකුදු ප්‍රයෝජනයට නොගෙන මහ සයුරට නොයැවිය යුතුයැයි පැවසුමම පැරකුම් යුගයෙහි වී වගාවට දක්වන ලද සැලකිල්ල තේරුම් ගැනුමට සෑහේ. 1505 දි වෙරළබඩ පලාත් පෘතුග්‍රීසි හා ලන්දේසින් යටත් කර ගැනිමෙන් පසුව එම ප්‍රදේශවල වි ගොවිතැන අඩාල විය ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් වු ශ්‍රී ලංකාව ක්‍රමක් ක්‍රමයෙන් විනාශ කිරීමට පෘත්ග්‍රීසි, ලන්දේසී හා ඉංග්‍රීසි කටයුතු කළෙය. ඒ සඳහා ඔවුන් ගත් පියවර බොහෝය. ක්‍රී. ව. 1505දී ලක් දිවයින පළමුව බටහිර ජාතිය වන පෘතුග්‍රීසීන්ගේ ආධිපත්‍යට නතු විය. එතැන් සිට 1938 දී ලන්දේසී ජාතීන්ද, ක්‍රී.ව, 1796 දී ඉංග්‍රීසී ජාතීන්ගේ ආධිපත්‍යට නතු විය. මේ යුග වලදී මෙරට ජන ජීවිතය උඩු යටිකුරු කරවු බොහෝ දෑ මෙරට ස්ථාපිත විය. ඒ අතර අපගේ ආහාර රටාවට අළුත් දෑ එකතු විය. මෙහි සඳහන් වන්නේ ලන්දේසීන් මෙරට රෝපණය කල ප්‍රථම දෙල් ගස ගැනය. ඉතා ශක්තිමත්, ස්වයංපෝෂිත ජාතියක්ව සිටි සිංහලයින් දුර්වල කිරීමේ අරමුණින් ලන්දේසීන් මෙරට දෙල් වගා කරන ලද බව සඳහන් වේ. උෂ්ණාධික ආහාරයක් වන දෙල් රට පුරා වගා කර එහි ඵලදාව සිංහලයාට කන්නට දී ඔවුන් දුර්වල කිරීම ලන්දේසීන්ගේ අරමුණ විය. එහෙත් සිංහලයා දෙල් ආහාරයට ගැනීමේදී දෙල් වල විෂ නැසීමට සමත් පොල් ද, දෙල් සමග ආහාරයට එක් කර ගැනීමට පුරුදුවීම නිසා ලන්දේසීන්ගේ අපේක්ෂා සඵල කර ගත නොහැකි විය. ලන්දේසීන් විසින් ලංකාවට ගෙන එන ලද මුල්ම දෙල් පැලය ගාල්ල කොටුවේ රෝපණය කර තිබෙන්නේ සිහිවටනයක් ලෙසිනි. වසර 350ක් තරම් පැරණි මෙම දෙල් ගස අදත් හොඳින් ඵල දරයි. අද කෘෂි ආර්ථිකයක් උදෙසා සැලසුම් සකස් කරන රාජ්‍ය පාලකයින් අතීත ලංකාවේ කෘෂි අර්ථ ක්‍රමය පිළිබඳ හැදැරීමක් හෝ කරනවාද යන්න සැක සහිතය. කුමක් වූවද ලංකාවේ කෘෂි කර්මාන්තය පෙරදිග පැවති සශ්‍රීකම කෘෂි අර්ථ ක්‍රමයක් බවට අමුතුවෙන් සහතික අවශ්‍ය නැත. නමුත් අද සහල් සහ වෙනත් ධාන්‍ය වර්ග පිටරටින් ආනයනය කරන තැනට පත්ව ඇත්තේ අතීත හෙළයා සතුව තිබූ විස්කම් දෑතින් පෝෂණය වූ හෙළ කෘෂිකර්මයේ බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙසය.