ආයුර්වේදය යනු සංස්කෘත වචනයක් මෙන්ම ප්රකෘත සහ පාලි යන භාෂාවලින් ද භාවිතා වන වචනයකි. සංස්කෘත වචනාර්ථයෙන් අයුෂ හෝ පුද්ගලයෙක්ගේ සෞඛ්‍ය ගැන සිදුකරන හැදැරීම ආයුර්වේදය ලෙසින් සඳහන් කර ඇත. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද පෞරාණික වෙදකම ආයුර්වේදය හෝ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ලෙස නම් කර ඇත.
ලංකාවේ ඉපැරණි හෙළ වෙදකම වසර 3000 ඉක්මවූ ඉතිහාසයකට උරුමකම් කියන බව අදටත් අප සතුව ඇති ඉපැරණි බෙහෙත් වට්ටෝරු, කෙම් ක්‍රම, ඉතා දියුණු වෛද්‍ය ක්‍රම තුලින් අපූරුවට කියා පායි. අබ ඇටයේ සිට සුවිසල් රුක් පොතු, අතු දක්වා භාවිතයෙන්, ගොම පිඩේ සිට රත්රන් දක්වා ද්‍රව්‍ය භාවිතයෙන් හෙළ වෙදකමේ අපූර්ව විස්කම් සිදුකරන්නට හැකියාව ඇත. බටහිර වෛද්‍ය ශාස්ත්‍රය බිහිවන්නට බොහෝ කලකට පෙර බිහිවූ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය අනන්‍ය මෙන්ම ප්‍රබල වෛද්‍ය ක්‍රමයක් බවට සැක නැත.
ක්‍රි.ව 4 වැනි සියවසේ රජකල බුද්ධදාස රජු ගිලන් නාගයෙක්ට ප්‍රතිකාර කළ අයුරු ඔබ අසා ඇත. එසේම ඔහු විසින් රචනා කළ සාරාර්ථ සංග්‍රහය මගින් හෙළ වෙදකමේ තාක්ෂණය ගැන මතු පරපුරට කරුණු දක්වා ඇත. ඔහු පමණක් නොව ලංකා ඉතිහාසයේ රජ කළ බොහොමයක් රජවරු දේශිය ආයුර්වේද ශාස්ත්‍රය වර්ධනයට ඉතා ඉහළ දායකත්වයක් ලබාදුන්හ. එයට හේතුව නිරෝගිකම අන් සෑම සැපතකටම වඩා සැපතක් බව බුදු හිමියන් විසින් සිය මංගල දහම් දෙසුමේ එන ධම්මචක්ක පවත්වන සූත්‍රෙයන් දේශනා කර ඇති නිසා වන්නට ඇත.
පොළොන්නරුව ආලාහන පිරිවෙන වැනි ස්ථානවලින් හමුවූ නටඹුන් අතර තිබූ ඉපැරණි රෝහලක ලක්ෂණ මෙන්ම වර්තමාන වෛද්‍ය විද්‍යාඥයන් මවිතකරවමින් හමුවූ ඉපැරණි ශෛල්‍ය වෛද්‍ය උපකරණ තුලින් ලොවටම හෙළිදරව් වූයේ මීට වසර දෙදහසකටත් වැඩි කාලයකට පෙර ලංකාවේ ස්වදේශීය වෛද්‍ය ශාස්ත්රයේ උපකරණ භාවිතයෙන් සැත්කම් කර ඇති බවය. සිංහලයන් ලෙස එවැනි අභිමානවත් වෛද්‍ය තාක්ෂණයක උරුමකරුවන් මෙම වැදගත්කම හඳුනාගත යුතුය. එපමණක්ද නොව, මිහින්තලය විහාර සංකීර්ණ තුල හමුවූ බෙහෙත් ඔරු, බෙහෙත් වංගෙඩි, මැටි බෙහෙත් අසුරණ මෙන්ම අනුරාධපුරය අභයගිරි විහාර සහ ජේතවනාරාම නටඹුන් අතරින් හමුවූ ශෛලමය භාජන සහ සයන අතීතයේ එම ස්ථානවල පැවති වෛද්‍ය මධ්‍යස්ථානවල නටඹුන් බව පැහැදිලිය. එබැවින් ලංකාව සතු ආයුර්වේද වෙදකම ඉතා පැරණි බවත් ලිඛිත සාක්ෂිවලටත් එහා ගිය ඉතිහාසයක් එහි පවතින බවත් සැබෑය.
අදටත් භාවිත වන බොහෝ කෙම් ක්‍රමවල උපත අතීත හෙළ වෙදකම වේ. පරිසර හිතකාමී මෙන්ම සත්ව ප්‍රේමී ක්‍රමවේදයක් අනුව සකස්කල ඉපැරණි වෙදකම සිදුකරන ලද්දේ බොහෝවිට වෙද ආරච්චිලා හෝ වෙදදුරන් විසින්ය. නොමිලේ හෝ ඉතා සුළු අයකිරීම් මත කෙරුණු මෙම වෙදකම හුදෙක් සමාජ සේවයක් හා උතුම් යුතුකමක් ලෙස ඔවුන් සලකා ඇති බව පැහැදිලිය. එසේම එවැනි වෙදදුරන්ට සමාජයේ ඉතා ඉහළ ස්ථානයක් වෙන්ව තිබී ඇත.
බොහොමයක් අතීත ජනප්‍රවාදවල එන හෙණරාජ තෛලය මතක ශක්තිය වර්ධනය කරන ඖෂධ, දිවිඅඳුන පැහැපත් බව වර්ධනය වන ඖෂධ වැනි දේ හුදෙක් ප්‍රවාද පමණක් විය නොහැකිය. මව්කිරි ඔරුතුල රෝගීන් බහා ප්‍රතිකාර කල අයුරු, කොහොඹ කොළ තැම්බූ වතුර තුල ගිල්වා බෙහෙත් කල අයුරු කියවෙන කතාන්තර තුලින් සූර හෙළ වෙදමහත්වරුන්ගේ ඥානය සහ භාවිතාව මනාව ඉස්මතු කොට ඇත.
බොහොමයක් විහාරස්ථානවල ඉතිරිව ඇති වෙද පොත්, ඉපැරණි පරපුරුවලට අයත් වෙද පොත් ගණනාවක රහසිගත, දේශිය බෙහෙත් වට්ටෝරු ඉතා සිල්ලරට වෙනත් රටවලට පටවා එම වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කළ ශාකසාර බෙහෙත් වර්ග ඉතා අධික මිළකට නැවතත් ලංකාවේ ජනතාව අතටම පැමිණීම කොතරම් ඛේදවාචකයක්ද. එවැනි බෙහෙත් වට්ටෝරුවලට සුවකළ නොහැකි රෝගයක් නැති බව ඉතිහාසයේ කියවේ. එහෙත් අද ඒ බෙහොමයක් වෙද පොත් පවා අප රට තුළ නැත. එවැනි සශ්‍රීක සහ පොහොසක් වෛද්‍ය ශාස්ත්රයකට හිමිකම් කියන්නාවූ රටක් ලෙස බටහිර වෙදකමින් තෘප්තිමත්ව සිටිනා තැනට පත්ව තිබීම දෛවයේ සරදමකි. කෙසේ වෙතත් අදටත් නොනැසී ඇතැම් තැන්වල අප්රසිද්ධව පවතින හෙළ ආයුර්වේද වෙදකම වනාහි මෙරට ජන උරුමයේ කූටප්රාප්තියක් බව අමුතුවෙන් කිව යුතු නැත.