යාපනය නගරයේ සිට උතුරු දෙසට කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාගම් ( පුරාණයේ – හුනුගම) නගරයෙන් වම් පසින් ඇති මාර්ගයේ කිලෝමීටර් 2.5 ක් පමණ ගමන් කළ විට මෙම විහාර සංකීර්ණය හමු වේ. කොරල් ගලින් නිමවන ලද විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් දාගැබ් ගණනාවක් මෙහි අදටත් විරාජ මානව ඇත. ඉතිහාසයට අනුව පුවංගු දිවයින හෙවත් පුංකුඩුතිව් දිවයිනෙහි වැඩ සිටි රහතන් වහන්සේලා 60 නමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර විහාර 60 ක් නිර්මාණය කරන ලද බව කියැවේ. පසුකාලීනව විවිධ ආක්‍රමණයන් නිසා එයින් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශවිය. නමුත් අදටත් විහාර ගණනාවක් නිරුපද්‍රිතව ඇති අතර විනාශ වූ සමහර විහාර වල අඩිතාලම් සහ නටඹුන් ප්‍රදේශය පුරාම විසිරී පවතී.
මෙවන් විහාර සංකීර්ණයක් ලංකාවේ දකුණුදිග ප්‍රදේශයේ වුවද දක්නට උගහටය. මෙම පූජා භූමියෙන් ක්‍රි.පූ. 5-4 සියවස් වලට අයත් අක්ෂර සහිත මැටි බඳුන් කැබලි හමු වූ අතර එහි කැබැල්ලක “දතහපත” යනුවෙන් සටහන්ව ඇත. එහි අර්ථය වන්නේ “දත්තගේ පාත්‍රය” යන්නයි. බුද්ධ ශාසනයේ ආදිතම නෂ්ටාවශේෂයන්නගෙන් පිරුණු මෙහි පුරාවිද්‍යාත්මක සාධක ශිලා අවධිය දක්වා දිවෙන අතර එයින් හමු වූ අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ කිහිප නමක් දැනට යාපනය කෞතුකාගාරයේ වැඩ හිඳී.
පොළොන්නරු යුගය දක්වාම සංඝාවාසයක් හෝ ජනාවාසයක් ලෙස පැවති මෙම ස්ථානයෙන් ක්‍රි.ව. 11-13 සියවස් වලට උරුමකම් කියන කාසි විශේෂයක් ද හමු වී ඇත. හමු වූ ටැම් ලිපියක කදුරුගොඩ පුදබිමට දෙන ලද දීමනාවක් ගැන ද කියැවේ. යාපන පුරා වැලලී ගිය මහා බොදු ඉතිහාසයේ ශාක්ෂියක් ලෙසට ඉතිරිවී ඇති මෙම පුද බිම ගැඹුරින් අද්‍යනය කල යුතුය. මෙනයින් බලන කල දමිළ නිජභූමිය ක් ගැන ඉතිහාසය විකෘති කරමින් මනඃකල්පිත කථා ගොතන්නවුන්ට මේ ඓතිහාසික පුදබිම දැවැන්ත අතුල්පහරකි.
වර්ෂ 1948 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව මෙහි අක්කර 07ක භුමියක් පැවතියත් අද වන විට ශේෂව පවතින්නේ අක්කර දෙකකට ආසන්න ප්‍රමාණයක් පමණි.අනවසර පදිංචි කරුවන්ගෙන් මේ පුරාවිද්‍යාත්මක පින් බිම රැකගැනීමට 1967 දී පුරාවිද්‍යා තහනම් ප්‍රදේශයක් බවට පත් කළ ද තිස් වසරක් පුරාවට දමිළ ත්‍රස්තවාදීන් ගෙන් මේ බිම ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදාවන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. එක්සේසත්ව පැවති හෙළදීපයේ ඒ ඓතිහාසික පුරාවෘත්තය සාධක සහිතව සියැසින් දැක ගැනීමට මෙහි සංචාරය ඔබට ඉවහල් වනු නොඅනුමානය.