අනුරාධපුරය (Anuradhapura) හෙවත් අනුරාධගාම කියන්නේ ලංකාවේ පළමුවෙනි රාජධානිය වගේම අදටත් ලංකාවේ ඉතිහාසය ගැන බොහොමයක් තොරතුරු වර්තමානයට ගෙන එන අභිමානවත් නගරයක්. පුරාවිද්‍යා වැදගත්කම අතින් ඉහළම තැනක තිබෙන අනුරාධපුරය අතීතයේ ලංකාවේ වාරි කර්මාන්තයේ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේ පැවති ඉහළම ගුණාංගයන් පෙන්වන හොඳම නිදර්ශනයක්. කොළඹ නගරයේ සිට A9 මාර්ගය වෙන මහනුවර හරහා යාපනය මාර්ගයෙන් මිහින්තලය හරහා හෝ නැතිනම් කොළඹ-පුත්තලම මාර්ගයේ ඇවිත් අනුරාධපුරය දක්වා එන්න කිලෝමීටර් 205ක පමණ දුරක් ගතකරන්න වෙනවා. උතුරු මැද පළාතේ පිහිටා තිබෙන අනුරාධපුරයේ ඇති වැදගත්ම සංචාරක ස්ථානයන් පිහිටා තිබෙන්නේ පූජා නගරය කියා හඳුන්වන කොටසේයි. දේශීය සංචාරකයන් ජුනි,ජූලි හා අගෝස්තු මාසවල ඉතා වැඩි වශයෙන් අනුරාධපුරයට පැමිණෙන නිසා මුළු නගරය මහා ජනකායකින් පිරී යනවා. ඉතා අඩුම මිලට හෝ නොමිලේම ලැගුම් ගන්නට ලැබෙන විශ්‍රාම ශාලාවේ සිට තරු පන්තියේ හෝටල් දක්වා නවාතැන් අනුරාධපුරයේ පිහිටලා තිබෙනවා. ලෝකයේ ඉපැරණිම ශාකයක් බවට සාධක සහිත ශ්‍රී මහා බෝධිය බෞද්ධයන් ඉතා ඉහළින් වැඳුම් පිදුම් කරන තැනක්. ඒ වගේම රුවන්වැලි සෑය හෙවත් මහා චෛත්‍යය, ථූපාරාමය, ජේතවනාරාම විහාර සංකීර්ණය, අභයගිරිය විහාර සංකීර්ණය, කුට්ටම් පොකුණ, ඇතු පොකුණ මෙන්ම ලංකාවේ කැටයම් කලාවේ උච්චම ස්ථානය පෙන්වන සඳකඩපහණ,මුරගල මෙන්ම සමාධි පිළිමයද අනුරාධපුරයේදී දැකගන්නට පුළුවන්. අනුරාධපුරය කියන්නේ දවසකින් බලලා ඉවරගන්න බැරිතරම් වැදගත් ස්ථාන පිහිටි නගරයක්. අනුරාධපුරයේ සංචාරයට යන ඔබට කිලෝමීටර 6ක් පමණ දුරින් තිබෙන මිහින්තලය සහ කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි තන්තිරිමලේ වැනි සොඳුරු බෞද්ධ විහාරයන්ද වන්දනාමාන කරන්න අවස්ථාව ලැබෙනවා. මෙම ප්‍රදේශයේ අධික උණුසුම් දේශගුණික තත්වය නිසා එහි සංචරයට එන සංචාරකයින් උණුසුමෙන් ශරීරය ආරක්ෂා කරගන්න අවශ්‍ය දේ රැගෙන ඒම ඉතාම වැදගත් වෙනවා. එසේම අනුරාධපුර සංචාරයට එන ඔබ කැමරාවක්නම් අමතක කල යුතු නැතිම දෙයක්. විදේශිකයන් සංචාරය සඳහා පැමිණෙද්දි අනුරාධපුර පූජා නගරය තුල ඇතැම් ස්ථානවලට පිවිසෙන්න ටිකට් පතක් මිලට ගතයුතු වෙනවා.