Haputale

ආසියාවේ වඩාත්ම නොසලකා හරින ලද ගමනාන්තය

හපුතලේ

2010 වසරේදී ආසියාවේ වඩාත්ම නොසලකා හරින ලද ගමනාන්තය ලෙස CNN විසින් නම් කරන ලද්දේ හපුතලේ නගරයයි. මෙහි අර්ථය, සැලකිල්ලට ගත යුතු නමුත් සැලකිල්ලට නොගත් යන්නයි.

පන්සලේ පියතුමන් ලෙස නම් ලද ගරු මර්සිලින් ජයකොඩි පියතුමන් රටවල් සිය ගණනක සංචාරය කර ඇති කලාත්මක හදවතක් සහ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ලොව පුරාම ජනප්‍රසාදයටත් ගරු බුහුමනටත් පත් වූ පඬිරුවනකි. එතුමන්ට වරක් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී නිවේදකයා මෙවන් පැනයක් යොමු කරනු ලබනවා.”ඔබතුමන් සංචාරය කර ඇති ලොව රටවල් අතරින් ලස්සනම තැන තියෙන්නේ කොහෙද” කියලා. එතුමා එක්වරම පිළිතුරු දෙනවා “හපුතලේ ෂෙඩ් එක ගාව” කියලා.

ලොව රටවල් සිය ගණනක ඇසූපිරූ තැන් ඇති ඒ වන විටත් කලාත්මක, සාහිත්‍යමය නිර්මාණ ගණනාවක් කර තිබූ එතුමන් වැන්නකුගේ එම ප්‍රකාශය කිසි සේත්ම බැහැර කළ හැක්කක් නොවේ. ඇත්තටම හපුතලේ ෂෙඩ් එක ගාවට එදත් අදත් මධ්‍යම කඳුකරයේ සිට මුහුදු සීමාව තෙක්ම අතිශය මනරම් දර්ශනයක් දර්ශනය වනවා.එය මනස්කාන්ත දර්ශණයක් වුවත් එය වාහනයක සිට ලෙහෙසියෙන් නැරඹිය හැකි නිසා වටිනාකම අඩු වන්නට ඇත.එය හපුතලේ උසම තැන නොවේ. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්‍ගය අසලමය. හපුතලේ නගරය පුරාම පාහේ විවිධ කෝණයන්ගෙන් මෙම දර්ශණය නැරඹිය හැකියි. ඉතා වෙහෙසකර දුෂ්කර ගමනකින් පසු ළඟා විය හැකි කඳු මුදුන් වලදී මෙවන් සුන්දර දර්ශණ නැරඹිය හැකි මුත් තමන් ගමන් ගන්නා ප්‍රධාන මාර්‍ගයක දී වාහනයෙන් නොබැසම මෙවන් දර්ශන නැරඹිය හැකි ස්ථාන ඉතා අල්පය. හපුතලේ නගරය සානුවක් මත පිහිටා ඇති නිසාම එහි සිට බලන බලන අත පෙනෙනුයේ සුන්දර දසුන්මය.

දුර්ග මගක් වූ උඩරට දුම්රිය මගේ් සුන්දරතම හපුතලේ දුම්රිය ස්ථානය පැරණිතම දුම්රිය ස්ථානයකි. වර්ෂ 1893 තරම් ඈතකදී ඉංග්‍රීසීන් විසින් හපුතලේ නගරයට දුම්රිය ස්ථානයක් දෙනු ලැබුවේ මෙම කුඩා නගරයේ ඇති වැදගත්කම ඔවුන් මැනවින් වටහා ගත් නිසාය. ලොව ඉතා ඉහළම ගුණාත්මයෙන් යුතු තේ වතු වලින් හපුතලේ සුපෝෂිතය. ශීත දේශගුණයේ වැවෙන එළවළු වගාවේ ඉහළ ඵලදායීතාවය ඔවුන් ආර්ථික වශයෙන් වැදගත් කොට සළකන්නට ඇත. එංගලන්තයට වඩා සනීපදායක ශීත දේශගුණයෙන් මනරම් වූ සිත් වසඟ කරවන මනස්කාන්ත පරිසරය ඔවුන් මෙම නගරයට ආකර්ෂණය කරවන්නට ඇත. ඔවුන් විසින් බ්‍රිතාන්‍ය රජ මාළිගයේ කොටසක් ආශ්‍රිතව නිර්මාණය කරන ලද හපුතලේ ඇඩිෂම් තාපසාරාමය ලොව ප්‍රචලිතය. එහිම නිශ්පාදිත ස්වභාවික නැවුම් කෝඩියල්, චට්නි, ස්වභාවික පළතුරු යුෂ බීම, ලොව පුරාම සංචාරකයින් අතර සුප්‍රසිද්ධය.

එපමණටම පැරණි, නමුත් ප්‍රචලිත නොවන ඉංග්‍රීසීන්ගේ තවත් නිර්මාණයකි හපුතලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සංචාරක බංගලාව. එහි තුල එක් කුඩා කාමරයක ඇති බොයිලේරුවක් මගින් ශීතල මිහිදුමින් නිරන්තරව වෙලී ගත් මෙම මුළු සංචාරක නිවහනම උණුසුම් කළ හැකි වන සේ නිර්මාණය කර ඇත. එවකට බ්‍රිතාන්‍ය නිලධාරීන් අසුපිටින් පැමිණ බංගලාවට ඇතුල් වීමට ප්‍රථම බූට්ස් වල තැවරුණු මඩ ඉවත් කිරීමට ලෝහයෙන් තැනූ ඍජු කෝණාස්‍ර මෙවලමක් අනූව දශකය වන තුරුත් මෙහි දක්නට විය. එවන් පෞරාණික බොහෝ දේ මේ පරිශ්‍රයේ ස්ථාපිතව ඇතිවා සේම සෑම අතින්ම සියවසකට පෙර පැවති බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මනස්කාන්තව මෙම සංචාරක බංගලාව නිමවා ඇත. මෙහි පසුපස මිදුලේ සිට බැලූ විට මා මුලින් සඳහන් කළ මර්සිලින් ජයකොඩි පියතුමා දුටු දර්ශනය ඊටත් වඩා හොඳින් මනස්කාන්තව දැක ගත හැක. හිරු අවරට යන සුපැහැදිලි දේශගුණයක් ඇති සැන්දෑවක සමනලවැව ජලාශය ඉහළින් අනන්තය දක්වා වූ ඒ අයස්කාන්ත දර්ශනය දැකීම නෙතට උළෙලක්ම වනු ඇත.

මෙම සංචාරක බංගලාවට ඉහළින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් පවත්වාගෙන යනු ලබන රුක් උයන (Arboretum) දේශීය විදේශීය ශාක සමුදායකින් සමන්විත මනස නිවන දැනුම් තෝතැන්නකි. දෙපාර්තමේන්තු අවසරය මත මෙම වන ගොමුවට ඇතුල් වී ඉහළ කඳුකර දේශගුණික ජෛව විවිධත්වය ඉතා ලෙහෙසියෙන් ම අත්විඳිය හැකිය. රොබින් හුඩ් ජීවත් වූවායි සැළකෙන එංගලන්තයේ ෂර්වුඩ් වනයේ ඇවිදින්නාක් වැනි සුන්දර හැඟීමක් අපූර්වත්වයෙන් යුතුව ඔබට ලැබෙනු ඇත.

මෙහි වනාන්තරයට ඉහළින් පිහිටි කඳු මුදුනටම නැග්ගත් කෙනෙකුට මුළු රටම එක තැනෙක සිට නරඹනවාක් මෙන් හැඟෙයි.(eagle eye view) පාරිසරික ඡායාරූපකරණයට ලොව ඇති අංක එකේ පරිසර කලාපයක් හපුතලේ දී ඔබට හමු වෙයි.

උෂ්ණාධික රටක් වන ලංකාවේ අවශේෂ ප්‍රදේශ වල දේශීය සංචාරකයිනට හපුතලේ යනු තමන් අත්විඳි පීඩාකාරී උෂ්ණ පරිසරයෙන් මිදී සුන්දර අපූර්ව ශීත දේශගුණයක සුව විඳීමටත් විනාඩි කිහිපයක් තුළ වෙනස් වන කාලගුණයන් අත් විඳීමටත් හැකි නවාතැන් පොළකි.

ඇල්ල වැනි වියළි කලාපීය දේශගුණික කලාපයක උස් කඳු මුදුන් තරණය කර ඔබ නරඹනා දර්ශනයන් ශීතල මධ්‍යම කඳුකර දේශගුණයක මිහිදුම අත්ලෙන් විඳිමින් දෙපා මුල දෙව්ලොව මෙන් තෙරපෙන වලාකුළු අත්දකිමින් සංචාරය කිරීමට හැකි නගරයක් මෙතරම් නොසලකා ඇත්තේ ඇයි?

ලංකාවේ බොහෝ සංචාරක ගමනාන්තයන්ට සංචාරකයින් යොමු කරවන්නේ අතර මැදි සංචාරක මග පෙන්වන්නන් සහ සංචාරක මග පෙන්වන ආයතන මගිනුයි. ඔවුනට එම ස්ථාන සහ එම ස්ථාන වල ව්‍යාපාර පවත්වාගෙන යන්නන් විසින් ලබාදෙනු ලබන අතරමැදි ගාස්තුව මෙයට බොහෝ සේ බලපායි. එසේම අන්තර් ජාලය තුල හපුතලේ සුන්දරත්වය ගැන ඇත්තේ සාපේක්ෂව අඩු අවධානයකි.

හපුතලේ දඹේතැන්නේ තේ වතු කෙළවරක ඇති “ලිප්ටන් සීට්” එකවර දිස්ත්‍රික්ක පහක් දැක ගත හැකි දුර්ලභ ස්ථානයකි.එහි පැහැදිලි අහසක් ඇති දිනෙක දක්නට ලැබෙන දර්ශන පරාසය විශ්මයජනකය.

දඹේතැන්න සිට ලිප්ටන් සීට් දක්වා වූ තේ වතු අතරින් වැටුන අඩි පාරවල් දිගේ පයින් ගමන් කිරීම (hiking) විදේශිකයන් අතර එදා සිටම ජනප්‍රිය වූවක් වන අතර දේශීය සංචාරකයින්ද මෑත කාලීනව එම අත්දැකීම විඳීමට යොමු වෙමින් සිටී. ගණ මීදුමෙන් බොහෝ විට වෙළුන දඹේතැන්න වතු යාය සුන්දරතම අත්දැකුමකි.

ලංකාවේ දිගම තේ කර්මාන්ත ශාලාවක් වන දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව ද නැරඹුම් ආකර්ෂණය දිනා ගත් තැනකි.

හපුතලේ පවතින ගණ මීදුම අනෙකුත් ප්‍රදේශ වල සිට එහි එන සංචාරකයිනට අමුතුම අත්දැකීමක් එකතු කරන අතර එවන් අත්දැකීමක් ජූනි සහ ජූලි වැනි මාස වලදී නුවරඑළියේ දී හැරුණු කොට වෙනත් තැනක දී අත්දැකීම දුෂ්කරය.

හපුතලේ සහ ඉදල්ගස්හින්න අතර දුම්රියෙන් ගමන් කරන විට දකුණු පසින් වන ගැඹුරු අවකාශය විටෙක වළාකුළු වලින් වැසී යයි. එය හරියටම බුදු ගෙවල් වල පිලිඹිබු කර ඇති දෙව්ලොව දෙවියන්ගේ පා අසල වළාකුළු කැටි ගොනු වී ඇති ආකාරයම මවා පායි. දුම්රිය අහසටත් ඉහළින් ගමන් කරනා සේ හැඟෙයි. එම අත්දැකීම විඳීමට ම ලංකාවට පැමිණෙන විදේශිකයින්ද සිටින අතර ඔවුන් හපුතලේ දී ලබන එවන් සුන්දර අත්දැකීම් ලක්ෂ ගණන් වියදම් කළ ඔවුන්ගේ සංචාරයේ උච්චතම අවස්ථාව ලෙස සමහරු හඳුන්වයි.

යාබදව වාඩි වී සිටියද එකිනෙකා නොපෙනෙන තරම් තද මීදුමේ, මදුවිතෙන් සැනහෙන සංචාරකයින් එම මදු විත අවසන් වුවද හුන් තැනින් නොනැගිටිනුයේ තමන් වෙලා ගත් පරිසරයේ සුන්දරත්වයත් ගත සනහන ශීත දේශගුණයත් තවදුරටත් විඳීමටය.

2010 දී ආසියාවේ වඩාත්ම නොසලකා හරින ලද ගමනාන්තය වූ හපුතලේ පසුකාලීනව දේශීය විදේශීය සංචාරකයන්ගේ නොමද ආකර්ෂණයට ලක්වෙමින් තම සුන්දර මිහිදුම් සළුවෙන්ද ආගන්තුක සත්කාරයෙහි විශිෂ්ඨ නගර වැසියන්ගේ සුහදශීලී තත්වයෙන් ද පිබිදෙමින් සිටී…