ප්‍රතිජීවික ඖෂධ (Antibiotics) භාවිතය ඉතා පරිස්සමින්

බොහෝ දෙනෙක් ප්‍රතිජීවික ඖෂධ යන වචනය අසා ඇතත් බොහෝමයක් එහි අර්ථය නොදනී.  ප්‍රතිජීවික ඖෂධයක් යනු අපට රෝග ඇති කරන ක්ෂුද්‍රජීවීන් (Bacteria) විනාශ කිරීමට හෝ මර්ධනය කිරීමට භාවිතා කරන ඖෂධයකි.

විවිධ නම් වලින් විවිධ කාණ්ඩ යටතේ මෙම ප්‍රතිජීවික ඖෂධ ලබාගත හැක.  උදාහරණයක් ලෙස, ඔබ බහුලව අසා ඇති Amoxicilin,Cloxacilin,Ciprofloxacin,Azithromycin  යනාදී වශයෙන් බොහෝමයක් ප්‍රතිජීවික ඖෂධ ඇත.

 

ඔබ ප්‍රතිජීවික ඖෂයක් භාවිතා කල යුත්තේ ඇයි?

රෝග කාරක විෂබීජයක් ශරීරගත වී අපට යම් යම් රෝගාබාධ ඇති වූ විට ඔබේ වෛද්‍යවරයා විසින් මෙම ප්‍රතිජීවික ඖෂධ වර්ග ලබා දේ.

උදාහරණයක් ලෙස සිරුරේ ඇති වන තුවාල වියළිම සඳහා, මුත්‍රා පැසවූ විට, නිව්මෝනීයාව වැනි රෝග තත්වයන් ඇති වු විට මෙවැනි ප්‍රතිජීවික ඖෂධ වෛද්‍යවරයා විසින් ඔබට නිර්දේශ කරයි.

ඒසේම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විට වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ අතර ප්‍රතිජීවික ඖෂධ ඇත්දැයි අසා දැන ගැනීම ඉතාම වැදගත්ය.

 

ප්‍රතිජීවික ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට නියමිත දින ගණන නිවැරදිව ගත යුතුය.

බොහෝමයක් රෝගීන් නොදැනුවත් කම නිසා ප්‍රතිජීවික ඖෂධ අනිසි ලෙස භාවිතා කරයි.  එනම් නියමිත මත්‍රාව නොගැනීම හෝ නියමිත වේලාවට නොගැනීම හෝ රෝගය සුව වීමට පටන් ගන්නා මුල් අවස්ථාවේදීම ඖෂධය ගැනීම නතර කිරීම සිදු කරයි.  මෙහිදි සිදු වන්නේ රෝගකාරක විශබීජ ප්‍රතිජීවික ඖෂධවලට හුරුවීමෙන් ප්‍රතිරෝධී තත්වයන් ඇති වීමයි.  එසේ වූ විට කාලයක් ගත වන විට එම රෝග කාරක විෂ බීජ එම ප්‍රතිජීවික ඖෂධය මගින් මර්ධනය කිරීමට නොහැකි වීමයි.  එමගින් ඔබේ රෝගය නිසියාකාරව සුව නොවන අතර අනිසි ප්‍රතිඵල අත්කර දෙයි.

එම නිසා ප්‍රතිජීවික ඖෂධයක් ඔබ ගන්නේ නම් වෛද්‍ය උපදෙස් මත නියමිත මත්‍රාව නියමිත වේලාවට නියමිත දින ගණන ගැනීම ඉතා වැදගත්ය.

 

කිසිදිනක වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව ප්‍රතිජීවික ඖෂධ භාවිතා නොකරන්න.

සමහර රෝගීන් ප්‍රතිජීවික ඖෂධ තමන්ට රිසි අයුරින් භාවිතා කිරීමට පෙළබී ඇත.  එය ඉතාමත් අනුවණ ක්‍රියාවකි.  රෝගියාට අවශ්‍ය ප්‍රතිජීවික ඖෂධ තීරණය කල යුත්තේ වෛද්‍යවරයෙකු විසිනි.  එනම්, එකම රෝගයට වුවත් රෝගියාගේ ස්වභාවය අනුව ප්‍රතිජීවික ඖෂධ වෙනස් විය හැකිය.  එනිසා නොගැලපෙන ප්‍රතිජීවික ඖෂධයක් භාවිතා කිරීම මගින් රෝගය සුව නොවන අතර ඉහතින් සඳහන් කල ගැටලුද ඇති විය හැක.

මීට අමතරව ප්‍රතිජීවික ඖෂධ යනු අසාත්මිකතා(Allergic)ඉතා ඉක්මනින් ඇති විය හැකි ඖෂධ වර්ගයකි.

එනිසා එවැනි ආසාත්මිකතාවයන් ඇති වූ විට එම ප්‍රතිජීවික ඖෂධ නැවත කිසි දිනක නොගත යුතුය.  එසේ ගතහොත් ඔබේ ජිවීතය පවා අනතුරට ලක් විය හැක.  එනිසා කිසිදිනක ඔබ වෛද්‍ය නිර්දේශයකින් තොරව තමාට රිසි පරිදි ප්‍රතිජීවික ඖෂධ භාවිතා නොකිරීමට සිහි තබාගත යුතුය.

 

ප්‍රතිජීවික ඖෂධ පරිසරයට මුදා නොහරින්න.

ඔබ භාවිතා නොකරන ලද හෝ ඉතිරි වී ඇති ප්‍රතිජීවික ඖෂධ ඇතොත් පුළුස්සා විනාශ කරන්න.  එසේ නොමැතිව හිතුමතේ පරිසරයට මුදාහැරී විට පරිසරයේ ඇති රෝගකාරක විෂබීජ එම ප්‍රතිජීවික ඖෂධට අර්ධ වශයෙන් නිරාවරණය වීම නිසා ප්‍රතිරෝධි තත්වයක් ඇති වී එම ඖෂධය ඉදිරි කාලයේදී භාවිතා කිරීමේ දී ප්‍රතිඵල දායක නොවනු ඇත.

ප්‍රතිජීවික ඖෂධයක් අළුතින් නිපද වීමට විශාල කාලයක් ගත වන බැවින් අළුත් ප්‍රතිජීවික වර්ග නිපදවීම පහසු කාර්යක් නොවේ.

දැනට පවතින ප්‍රතිජීවික ඖෂධ ඉහත පරිදි නිසියාකාරව භාවිතා කිරීම තුලින් නිසි ප්‍රතිඵල ලබා ගත හැකිවන අතර එය ඔබගේ අනාගත පරම්පරාවට ද සිදුකරන යහපත් ක්‍රියාවකි.