ඉතිහාසයේ කුප්රකට  යුද්ධය – 02

මේකත් එක්ක අමුණලා තියෙන පළවෙනි පින්තූරය ලෝකයෙ ඉතාම ප්රසිද්ධියට පත් වනු කුප්රකට ඡායාරූපයක්. (ඒක නාපාම් බෝම්බයක්)
 
ලිපිය කියවන්න කලින් ඡායාරූප ටික බලන්න කියලා ඉල්ලනවා.
 
ඇමරිකානු වියට්නාම සටනේ දී වියට්කොං ගරිල්ලන්ට එරෙහිව ඇමරිකාව පාවිච්චි කරපු ඉතාම කෲර සහ නින්දිත සටන් ක්රම කීපයක් ගැන මගේ කළින් සටහනේ තිබුණා. මම ඒවා එකින් එක වෙනම ලිව්වෙ නැත්තෙ කෲරත්වය දිගින් දිගටම විස්තර කරන්න තිබුණු අකමැත්ත නිසා. ඒත් බොහොමයක් දෙනා ඉල්ලලා තිබුන නිසා ඒ නින්දිත ක්රම අතරේ තිබුණු Agent Orange ගැන විතරක් ලියන්නම්.
සරලවම කිව්වොත් agent orange කියන්නේ වල් නාශකයක්. ට්රයික්ලොරොෆීනොක්සි ඇසිටික් සහ ඩයික්ලොරොෆීනොක්සි ඇසිටික් (Trichlorophenoxyactic & Dichlorophenoxyacetic) අම්ල ප්රභේද දෙකක් මිශ්ර කරලා හදපු ප්රබල රසායනිකයක්.
ඒක කෘෂිකර්මාන්තයට යොදන්න නිර්දේශිත ප්රමාණය වගේ දහතුන් ගුණයකින් ප්රබල කරලා මේ යුද්ධයේදී පාවිච්චි කරන්න අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කළා.
මේ තීරණය ගනිද්දී ධවල මන්දිරය සහ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අතරේ නොයෙකුත් මතවාද තිබුණත් 1950 අවුරුද්දෙදි බ්රිතාන්යයන් මේක පාවිච්චි කළා කියන එක නිදහසට කාරණයක් විදිහට අරගෙන 1962 අගදි එවකට ජනාධිපති වෙලා හිටපු කෙනඩි ගේ අවසරය මේ වෙනුවෙන් ලබා ගන්න අදාල බලධාරීන් සමත් වුණා.
රැන්ච් හෑන්ඩ් (Operation Ranch Hand) නමින් පටන් ගත්ත මේ මෙහෙයුම 1962 ජනවාරි මාසේ 09 වැනිදා ඉඳලා 1971 අවසානය දක්වා අවුරුදු දහයක් පුරා ක්රියාත්මක වුනා.
ඒ අවුරුදු දහය ඇතුළත වියට්නාම් භූමිය මතට හෙලපු මේ විෂ රසායනිකයේ ප්රමාණය ගැලුම් ලක්ෂ දෙසීයක් (20,000,000). මේ වෙනුවෙන් ක්රියාත්මක වුනු මෙහෙයුම් ගණන 6542 ක්.
මේ මෙහෙයුමේ අරමුණ විදිහට එයාල ලෝකෙට පෙන්නුවේ වියට්කොං ගරිල්ලන්ට වනාන්තර තුල රැකවරණය සහ ආහාර අහිමි කිරීම.
මේ අවුරුදු දහය ගෙවිලා ඉවර වෙද්දි වියට්නාමයට තමන්ගෙ වනාන්තර වලින් පහෙන් එකක් අහිමි උනා. සමස්ත වියට්නාම් පොළොවෙන් 13% ක් පුරා මෙම රසායනික ද්රව්ය ඉහළ තිබුණා. මිනිස්සු මිලියන හතළිහක් මේකට නිරාවරණය උනා.
අදටත් මේ රසායනිකයේ බලපෑම නිසා හමුදා නිලධාරින්ගේ පවුල්වල විකෘති දරු උපත් සිද්ධ වෙනව. බොහොමයක් දෙනා ලියුකේමියාව ඇතුළු පිළිකාවලට ගොදුරු වෙමින් ඉන්නව.
මානව ඉතිහාසයේ මිනිස්සු මිනිස්සුන්ට එරෙහිව පාවිච්චි කරපු මේ වගේ දරුණු ක්රම ඉදිරියේදී ඇතිවෙන සටනකදී භාවිතා නොවේවි කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද.

සමීර බෝපගේ