ඉතිහාසයේ කුප්රකට  යුද්ධය – 01

ඉතිහාසයේ කුප්රකට වියට්නාම් යුද්ධය වෙනුවෙන් ඇමරිකාව ප්රමුඛ රටවල් ගුවනින් හෙලපු බෝම්බ ප්රමාණය දෙවැනි ලෝක යුද්ධය වෙලාවේ මුළු යුරෝපය පුරා පුපුරපු බෝම්බ වගේ තුන් ගුණයක්.
ජනගහනය අතින් ගත්තම එක්කෙනෙකුට බෝම්බ හතක් විතර දාලා තියෙනවා කියලයි කියන්නෙ.
ලෝක සිතියම බැලුවම වියට්නාමයට චීනය, ලාඕසය සහ කාම්බෝජය විදියට අසල්වැසියෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ බෝම්බ ප්රහාර වලට ඉලක්ක වෙන රටවල් වලට ලාඕසයත් අයිතියි.
ක්රිස්තු පූර්ව ගණන් වල ඉඳලා වියට්නාමය චීනය ට යටත් වෙලා හිටියා. ක්රි.ව 938 දි කූයන් (Quyen) කියන පාලකයා විසින් නිදහස් කරගන්නා තුරු එයාලා වසර දාහක් විතර වියට්නාමය පාලනය කළා.
ආයෙත් 1407 – 1428 කාලෙදිත් ලී ලොයි (Le Loi) පාලනය අතට ගන්නා තුරු එයාලා චීනයට යටත් වෙලා හිටියෙ.
එතනින් ඒක ඉවර වෙන්නෙ නෑ. කාලයක් එයාලව පාලනය කරන්නෙ ප්රංශය. ප්රංශ පාලන කාලෙදි වියට්නාම් වැසියෝ මන්දපෝෂණයෙන් සහ ලෙඩ දුක් වලින් විශාල වශයෙන් මිය යනව.
දෙවෙනි ලෝක යුද්දෙදි වෙච්ච වෙනස් වීම් එක්ක ජපානයත් ටිකකලකට එයාලගෙ රටේ පාලනය ගන්නව.
ඔය සේරම කලබල අවසාන වෙනකොට වියට්නාමය උතුර සහ දකුණ විදිහට දෙකකට බෙදිලයි තියෙන්නෙ. දකුණු පැත්ත ධනවාදයට බරවෙලා ඇමරිකානු කඳවුරට හිතවාදී වෙද්දි උතුර පැත්ත සමාජවාදය හරහා චීනයට සහ රුසියාවට ලංවෙනව.
මේ සේරම සිදුවීම වල ප්රතිඵලයක් විදිහට උතුරු වියට්නාමය සහ ඇමරිකාව ප්රමුඛ දකුණු වියට්නාමය ප්රධාන පාර්ශව විදියට සටනක් පටන් ගන්නව.
ඔය මම පළවෙනි ඡේදයේ සටහන් කරපු බෝම්බ ප්රහාර වියට්නාමයේ සහ ලාඕසයේ බිමට වැටෙන්නේ ඒ යුද්ධයේ ප්රතිඵලයක් විදිහට.
ඒ යුද්ධයේ දී වියට්නාම් වැසියෝ ගරිල්ලා උපක්රම ගැන විශ්වාසය තියද්දි ගිනි බලය සහ අවි බලය මත විශ්වාසය තියන්න ඇමරිකාව කටයුතු කරනව.
1963 අවුරුද්දෙ පටන් ගන්න මේ යුද්ධය ඉතිහාසයේ දරුණුතම සහ ලැජ්ජාශීලීම යුද පරාජය ඇමරිකාවට හිමිකර දෙමින් 1975 අප්රේල් වනතුරු ඇදිල යනව.
මේක අවසන් වෙද්දි වියට්නාමයට අහිමි වන ජීවිත ගණන මිලියන තුනක් විතර වෙනව. කාම්බෝජයට තිස්දාහක් විතර මිනිස්සු අහිමිවෙද්දී ලාඕසයට දල වශයෙන් 59000 ක් මිනිස් ජීවිත අහිමි වෙනව.
අමරිකානු සොල්දාදුවන්ගෙන් හැටදාහක් විතර මියගිය සහ අතුරුදහන්වුණු ලැයිස්තුවට එකතු වෙනව.
1865 මාර්තු දෙවැනි දා ඇමරිකානු මැරයින් කණ්ඩායමකට වියට්කොංවරු එල්ල කරපු ප්රහාරයෙන් පස්සෙ ඒකට එකට එක කිරීමක් විදිහට පටන් ගත්තු රෝලින් තන්ඩර් සහ ෆ්ලෙමින් ඩාර්ට් කියන මෙහෙයුම් වලින් විතරක් ටොන් මිලියනයක බෝම්බ සහ රොකට් වියට්නාම් පොලවට අතාරින්න ඇමරිකාව කටයුතු කරනව.
ඒ මොනව උනත් ඇමරිකානු හමුදාව වියට්නාම් භූමියෙන් ඉවත් වෙද්දි ඒ අවුරුදු 12-13 කාලය ඇතුළත ක්රියාත්මක කරපු බෝම්බ හෙලීමේ මෙහෙයුම් ගණන පන්ලක්ෂ අසූ දාහක්.
පොකුරු බෝම්බ මිලියන 260 ක් දානව. එක පොකුරු බෝම්බයක් ඇතුලෙ කුඩා බෝම්බ හයසීයක් සත්සියක් අතර තියෙනවා.
මිනිසුන් අතිශයින් වේදනාවට පත්කරන පොස්පරස් බෝම්බ. සහ අතිශයින් විනාශකාරී ආයුධ බොහොමයක්ම මේ සටන් වලදී භාවිතා වෙනව.
පළවෙනි ඡේදයේ සඳහන් කලා වගේ දෙවෙනි ලෝක යුද්දයේදි පාවිච්චි කළ බෝම්බ වල බර ටොන් විසි එක් ලක්ෂ පනස්දාහක් විතර වෙද්දි, වියට්නාම් පොළොව මතට පතිත වුන බෝම්බ ප්රමාණයේ බර ටොන් හැත්තෑ හය ලක්ෂ හැට දෙදාහක් විතර වුනා කියලයි කියන්නෙ.
අද මානව හිමිකම් ගැන මහා ඉහළින් කතා කරන ඇමරිකාව එදා ආසියාවේ දුප්පත් රටකට විරුද්ධව වැඩ කළේ ඔන්න ඔය විදිහට.
කොහොම වුණත් ඇමරිකාව සටන් වලින් ඉවත් වෙද්දි එයාලට අහිමි වුන සමස්ත ගුවන් යානා ගණන දහදාහක් විතර වුණා කියල තමයි සටහන් වෙන්නෙ. ඒක හෙලිකොප්ටර් 5607 ක්, ගුවන් යානා 3744 ක්, UAV නියමුවන් රහිත යානා (unmanned aerial vehicle) 857 ක් විදියටත් අවසානයේදී අල්ලාගත් යානා 877 විදියටත් වර්ග වෙනව.
ඔය ජායාරූප අතරෙ, පොස්පරස් බෝම්බයක් දාන අවස්ථාවක්, පොස්පරස් බෝම්බයකින් ඇතිවෙන බරපතල සහ ගැඹුරු පිලිස්සුම් තුවාල වල පින්තූරයකුත් තියෙනවා.
වියට්නාම් යුධ කෞතුකාගාරයට ගිය මගේ පෞද්ගලික සටහනක් මෙතනින් පහතට දාල තියෙනව. කියවලා බලන්න..

…සමීර බෝපගේ..

_________________________
මගේ ළඟින් ගිය සුද්ද හිටියෙ බිම බලාගෙන උනත්, ඒ මූණ රතු වෙලා තිබ්බ බව මම හොඳින්ම දැක්ක…
ඊට පිටිපස්සෙන් ආපු සුදු ජාතික කාන්තාව හිටියෙ අඬමින්..
වියට්නාමය කියන වචනය ඇහුනු ගමන් මතකයට එන්නෙ මොකක්ද. අළුත්ම Samsung ෆෝන් එකක් ද ? වෙන්නත් පුළුවන්. ඒත් රට තොට ගැන ටිකක් දන්න කෙනෙක්ගෙ හිතට එක පාරටම මතක් වෙන්නෙ කාලයක් තිස්සෙ ඇදිල ගිය අමානුෂික යුද්ධයක්.
හැම යුද්ධෙම අමානුෂිකයි වුනාට මේක අපි දන්න තරමින් අති අමානුෂික වගේම අසමතුලිත එකක්. ලෝකෙට ලොක්ක කියල හැමදාම හිතන ඇමෙරිකාව හොදට කාපු සහ නිලවශයෙන් පැරදුනා කියල පිළිගත් එකම යුද්ධෙත් මේක කියල සමහරු කියනව. එත් ඇමෙරිකාව මේක පැරදුනාට වියට්නාමේ දිනුවද ..
වියට්නාම් වල තියෙන යුධ කෞතුකාගාරය අමානුෂිකත්වය පිලිබඳ මිහිපිට තියෙන හොදම උදාහරණය කියල මට හිතුනා. ජපානයේ හිරෝෂිමා හෝ වෙන මොන රටකදිවත් මම මේ තරම් සංවේදී සැමරුමක් දැකල තිබුණේ නෑ.
වියට්කොන්ග් වරු සමුල ඝාතනය කරන්න පාවිච්චි කරල තිබුන උපක්රම අති අමානුශිකයි. පොස්පරස් බෝම්බ, රසායනික ආයුද, අධික තාප ජනන ආයුධ සහ වෙනත් උපක්රම බොහොමයක් වගේම වනාන්තර සම්පුර්ණ ගිනිබත් කිරීම, කොරටු ගම්මාන ඇතිකිරීම වගේ සමාජීය උපක්රම බොහොමයක් භාවිතා කරල තිබුණා. ඒ වගේම ඇමෙරිකානු සෙබලුන්ගේ මනස හදන්න, කොටින්ම කිව්වොත් live killing machines හදන්න පාවිච්චි කරපු ප්රචාරණ දැන්වීම් පවා ඒ කෞතුකාගාරය ඇතුලෙ තිබුණා.
උපරිම වෙඩි බලය භාවිතා කරනු, බලය යනු ජයග්රහණයයි, වගේ දැන්වීම් වගේම ගොවි ජනතාව ගැන හෝ අනුකම්පාව නොදැක්විය යුතු බව සදහන් පුවරු ඒ කාලේදී ඇමෙරිකානු භටයන්ට තමන්ගෙ කඳවුරු වල ප්රදර්ශනය කරල තියෙනව. ඒවායේ ඡායාරූප මම ඇස් දෙකෙන්ම දැක්ක.
මේ කෞතුකාගාරය මොන තරම් හොදට යුද්ධය තිබුන කාලය ප්රති නිර්මාණය කරල තිබුණද කිව්වොත් ඒක බලන්න ආපු විදේශිකයන්ගෙන් ගොඩක් දෙනා තම තමන්ගෙ ඇස් වල කදුළු හංගගන්න එකිනෙකාගේ මුණු දිහාවේ බලන්නත් අදිමදි කරන බව පැහැදිලිව පෙනුණා. විශේෂයෙන් ඇමෙරිකානුවන්.
එදා ඒ යුද්ධෙ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරපු වියට්කොන්ග්වරු දිනුවද.
අදටත් ඒ පවුල්වල උපදින ආබාධිත දරුවන් , මන්ද බුද්ධික දරුවන් ඒ මිනිස්සු තමන්ගේ ජීවිතය කාලෙම කැප කරල දිනපු යුද්ධෙ ජීවමාන සිහිවටන වෙලා.
විදේශ රටකට වෙලා කාගෙවත් තීරණ වෙනුවෙන් සටන් කරපු ඇමෙරිකානු සොල්දාදුවන්ට මොනවද ලැබුනෙ.
හොඳම කථාව ඒ මොනවත් නෙමේ. වියට්නාම් පුරවැසියෝ කීපදෙනෙක්ගෙන් මම “කැමතිම රට මොකක්ද” ඇහුවා.
ඒ හැමෝටම තිබුනෙ එක උත්තරයයි.
.
ඒ තමයි..
.
ඇමෙරිකාව..
(වසර කිහිපයකට පෙර වියට්නාමයේදී ලද සත්ය අත්දැකීමක්)